අනවශ්‍ය රාජ්‍ය සේවය රටට බරක් !

අපට තිබෙන අර්බූදයට කෙටි කාලීණ විසඳුම යම් විදේශ ණයක් ලබා ගැනීමයි. රජය IMF සාකච්ඡා වලින් බලාපොරොත්තු වෙන්නේත් එයමයි. නමුත් ණය ආපසු ගෙවීම පිළිබඳ විධිමත් වැඩ පිලිවෙලක් රජය ඉදිරිපත් කරනා තුරු කිසිවෙක් අපට ණය දෙන්නේ නෑ. කාලාන්තරයක් තිස්සේ විවිධ රජයන් විසින් කල වැරදි නිවැරදි කර ගැනීමට වර්තමාන ආණ්ඩුවට සිදුව  තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි දිගු කාලීන විසඳුම් සොයා ගත යුතුයි. ඒ සඳහා විදේශ ආදායම් වැඩි කරගන්නා සහ වියදම් පාලනය කරගන්නා අයුරු ද, දේශීය ආදායම් වැඩි කරගන්නා සහ වියදම් පාලනය කරගන්නා අයුරු ද,  සැලසුම් කළ යුතුය.


2021 වසර වන විට අපේ අයවැය පරතරය, දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% ඉක්මවා තිබුනා. අයවැය පියවන්නට දිගින් දිගටම මුදල් අච්චු ගැසීමෙන් වන්නේ රට තව තවත් අගාධයට යාමයි. රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය විය යුත්තේ වියදම අඩු කිරීමටත් වඩා වියදම් පාලනයට හා නාස්තිය දූෂණය අවම කිරීමට උපරිම අවධානය යොමු කිරීමයි.


2021 වසරේ රාජ්‍ය වියදම, රුපියල් බිලියන 3,521 ක් වුනා. මින් පියල් බිලියන 774 ක් ප්‍රාග්ධන වියදම්. ඉතිරි රුපියල් බිලියන 2,748 ක් පුනරාවර්ථන වියදම්.  ඒ තුල රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 1115ක් ද, පොලී ගෙවීම්, රුපියල් බිලියන 1,048 ක් වුනා. තවද වැටුප් හෝ පොලී නොවන පුනරාවර්ථන වියදම, රුපියල් බිලියන 585 ක්.


රජයට අයත් ව්‍යාපාර 420 කට වඩා තිබුනත් ඒ අතු‍රින් ආයතන තුනක පමනක් 2021 වසරේ පාඩුව රුපියල් බිලියන 270 ඉක්මවනවා. විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 21.4 ක පාඩුවක්, ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 82.2 ක පාඩුවක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 170.7 ක පාඩුවක් ලබා ඇත.
බොහෝ ආයතනවල පාඩුවක් පැවතුනත් අඛන්ඩව ක්‍රියාකාරී වන්නේ මහා භාන්ඩාගාරයෙන් වාර්ෂිකව ලැබෙනා ප්‍රතිපාදන නිසායි. මේ නිසා රාජ්‍ය ව්‍යාපාර අතුරින් දිගින් දිගටම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ඉතා කඩිනමින් කල යුතු කටයුත්තක්. මේ වන විට රජයට කිසිඳු ආකාරයක ආදායමක් ලබා දෙන්නේ නැති අතර රටේ කාර්‍යක්ෂමතාවට බාධාවක්වන ආයතන හා සේවකයන් විශාල  ඇත.


 අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල 792,000ක් ද, ප්‍රාදේශීය සභා හා පලාත්පාලන ආයතනවල  390,000 ක් සහ රාජ්‍ය ව්‍යපාරවල 220,000ක් ඇත. මේ අනුව දැනට රාජ්‍ය සේවකයන් 1,402,000 ක් සිටිනවා. 2021 වසරේ මේ අය සඳහා වැටුප් හා දීමනා රුපියල් බිලියන 845 ක් වැය වී ඇත. මීට අමතරව විශ්‍රාමිකයන් 672,000 ක් සිටිනවා. 2021 වසරේ මේ අය සඳහා විශ්‍රාම වැටුප් රුපියල් බිලියන 270 ක් වැයවුනා. සමස්ථ වියදම රුපියල් බිලියන 1,115 ක් වේ. රාජ්‍ය ආදායමෙන් 80% ක්.


විවිධ කටයුතු සඳහා රජයෙන් ලබාදෙන බලපත්‍ර අවශ්‍යතාවන් හැකි තාක් දුරට අඩු කල යුතුයි. රජයේ කාර්යාල හා නිලධාරීන් පහසුකම් සපයන්නන් මිස බලපත්‍ර නිකුත් කරන්නන් නොවිය යුතුයි. මේ රට සංවර්ධනය කරන්නට නම් රාජ්‍ය සේවය හැකි තාක් කුඩා හා කාර්යක්ෂම කල යුතුයි. අනවශ්‍ය නීති රෙගුලාසි ලිහිල් කොට දියුණු රටවල මෙන් ව්‍යවසායකත්වයට වැඩි ඉඩක් දිය යුතුයි.

ඊලඟ සති කිහිපය තවත් අමාරුයි කියමින් අගමැතිතුමා නිවේදන නිකුත් කරනවා වෙනුවට කල යුත්තේ රජයේ  වැඩපිලිවෙල රටට ඉදිරිපත් කර ක්‍රියාවට නැගීමයි.  

 


Comments

Popular posts from this blog

ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු අය !